Tuesday, June 7, 2016

අනුරපුරයම නියඟයෙන් වේළෙද්දි ශ්‍රී මහා බෝධිය ළඟට වැස්ස

අනුරපුරයම නියඟයෙන් වේළෙද්දි ශ්‍රී මහා බෝධිය ළඟට වැස්ස


සොබාදහමත් පවා බුදු ගුණ ඉදිරියේ සන්සුන් වන බව ඉතිහාස කතා තුළ පමණක් නොව මෑත කාලයේ දී සාක්ෂි දක්වයි. අරණායක නාය යෑමෙන් පසුව නායගිය බිමෙහි තිබුණු ආකාරයෙන්ම ඉතිරි වුණු එකම ඉදිකිරීම ලෙස අප දුටුවේ ඒ නිර්මල බුදුරුව සහිත පිළිම ගෙයයි. සුනාමි ව්‍යසනය පැමිණ මහල් ගොඩනැගිලි පවා බිමට පතිත වෙද්දී, දුම්රිය පෙට්ටි ගිනි පෙට්ටි ගාණට පෙරැළී යද්දි බුද්ධ රූප පමණක් ඉතිරි වූ හැටි අපූරුය.



මෙවැනි ආශ්චර්යවත් දේ කොයි ආකාරයට සිදුවෙනවාදැයි කියන්නට අපි නොදනිමු. නමුත් දස දහස් ගාණක් වඳින පුදන බුද්ධ ප්‍රතිමාවක මහ බල පිහිටි ඇති බවට සැක නැත. පිරිතක් වුණත් වැඩි වාර ගාණක් කියන විට ප්‍රතිඵල වැඩිය. යන්ත්‍රයක් බලගැන්වීමේ දී දහස් වර ආදී වශයෙන් මන්ත්‍ර ජප කරන්නේ ද එබැවිනි.

මේ නිසා ලක්ෂ-කෝටි ගාණක් වන්දනාමාන කරන තැනක ආශ්චර්යවත් බලය විවිධාකාරයෙන් පිහිටයි.

ඒ සියල්ල අබිබවා බුද්ධ බලය වැඩිදෝ යන්න ඇතැම් විට අපට සිතේ.

බුදුරජාණන් වහන්සේ සත් සතිය ගතකරද්දී පැමිණි මුචලින්ද නාගදරණය දැක්වෙන චිත්‍ර ඔබ ද දැක ඇත. මුචලින්ද නාගරාජයා බුදුරජාණන් වහන්සේ නොතෙමෙන්නට ඡත්‍රයක් ලෙස පිහිටි ආකාරය තුළ සොබාදහම, සතා සර්පයා පවා බුදුන් වහන්සේ ආරක්ෂා කරන බවට අදහස සමාජගත වේ. එසේම දේවදත්ත තෙර ගිජුකුළු පවුවේ සිට බුදු හිමි හිසට ගලක් පෙරළී අවස්ථාවේ තවත් ගලක් මතුවී බුදු හිමියන් සොයා ඇදෙන මහා ගල නවතා දැමීය. එය එසේ නම් ඒ බුදු ගුණ ආශ්චර්යය. අපට ජීවමාන බුදුන් වහන්සේ වැනි වූ මහ බෝ අභියසහි ද ඇත්තේය. ඒ පිළිබඳ පැහැදිලි අත්දැකීම් රටේ නන්දෙස වෙසෙන සැදැහැවත්තු සතු වෙති. ඒ අතරත් අනුරාධපුර සාම විහාරාධිපති මහා විලච්චියේ විමල හිමියන් අපට කීවේ මෙවැන්නයකි.

“හැම පොසොන් පෝයටම ඉහළ ඉඹුල්ගොඩ එක්සත් තරුණ සංගමය අනුරාධපුර සාම විහාරයේ බත් දන්සලක් පවත්වනවා. මේ සඳහා 150ක පමණ දායක පිරිසක් ඉතාම ශ්‍රද්ධාවෙන් වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා.”

“මීට අවුරුදු තුනකට විතර කලින් දන්සල් ඉවර කරලා හවස නාන්න යන්න කට්ටිය කතා වුණා.”

“දන්සලේ මහන්සිය වගේම දවාලට තදින් වේළෙන, පෑවිල්ලක් තිබුණු කාලයක්. එහි දූවිලි කුණාටුව ගහන්නේ පාරවල් ගිනියම් වෙලා, ගහකොළ වේළිලා කරවෙලා යන තරම්...”

අනුරාධපුරේ පෑවිල්ලේ තරම උන්වහන්සේ සිහිපත් කරති.

“එදා මේ දායක පිරිසට නාන්න යන්න ළඟම වැවක් විදිහට තෝරාගත්තෙ බසවක්කුලම වැව. මම කිව්වා, මමත් එන්නම් යමු කියලා. ඒ අනුව රෑ බෝවේගෙන එද්දි අපි බසවක්කුලම වැවට ගියා.”

“පොසොන් නිසා රෑ වුණත් බොහෝ පිරිසක් වැවේ නාමින් සිටියා. අපි සමග ගිය අයත් වැවේ බැහැල නානකම් මමත් ගොඩට වෙලා බලා හිටියා.”
“එක්වරම වැවේ මැද්දෙන් මොකක්දෝ වෙනසක් සිදුවෙනවා මා දැක්කා. ඒ සීමාවට බොහෝ මෙහායින් නාන පිරිස් හිටියේ.”

“රත්තරන් පාට බෝලයක් අහසට නැගෙනවා වගේ පෙනුණා. දිලිසෙන රත්රන් ගුලියක්. ඒ පිරිවරාගෙන සැලකිය යුතු මට්ටමේ වතුර ගුලි අහසට නැගුණා. මේවා ගණනාවක් රත්තරන් ගුලිය පිටුපසින් අඩි ගාණක් එක දිගට පෙළ ගැසිලා උඩට නැගුණා.”

“අඩි 30ක් පමණ උඩට නැගුණ මේ වතුර ගුලි සහ රත්තරන් බෝලය වැව මැදදීම පෙරහරක් පෙළගැසෙනවා වගේ ලස්සනට පෙළගැසුණා. රත්රන් බෝලය වට කරගෙන විශාල වතුර ගුලි කොටුවක් ආකාරයට පිහිටියා. බැලූ බැල්මට රත්රන් පාට නෙළුම් මලක් අල්ලපු ලේස් රෙද්දෙන් කළ වියනක් වගෙයි.”

“මේ ජල වියන හිමින් සැරේ අඩි 30 පමණ සීමාවෙන් මහා බෝධිය පැත්තට යනවා අපි දැක්කා. එය අඩි 30 ප්‍රමාණයක වගේ සම හතරැස් වියනක්. මේ ආශ්චර්යය බොහෝදෙනා දකින්න ඇති කියලා මම හිතනවා.”

“අපේ දායක පිරිස නාලා ආපසු යනකොට ජය ශ්‍රී මහා බෝධිය ළඟටයි, රුවන්වැලි මහා සෑය ළඟටයි හොඳටම වැහැලා” උන්වහන්සේ පවසති.

අනුරාධපුරේ දැඩි පෑවිලි හා කර්කෂ සමයට මේ ආශ්චර්ය දැකිය හැකි බව පූජා නගරයේ වෙසෙන ඇතැම් ජනයා අපිට කීහ. මහාබෝධිය රකින්නට සොබාදහම මල් වැසි වස්සවන හැටි විටෙක පුදුම එලවන සුළුය.

අභය වැවෙන් මහ ජල කඳක් අහසින් ගොස් මහා සෑ, මහ බෝ තෙමා සනහන මේ සිදුවීම බුදු දහමේ ආශ්චර්යමත්භාවයේ බොහෝ දෙනෙක් නොදන්නා නිහඬ කතාවකි.

ඇතැම් විට මෙය වැස්ස වළාහක දෙවියන්ගේ මහ බෝ, මහ සෑ පුදන පූජාවක් වෙන්නට ද පුළුවන. කොයිතරම් තද පෑවිල්ලක් වුණත් වැස්ස වලාහක දෙවියෝ මහ බෝ රකින්නට ඒ ප්‍රදේශයට පමණක් ඇතැම්විට වැසි වට්ටවන බව දේව සභාවක් රකින පින්බිමක බුද්ධියෙන් විමසිය යුතු කාරණයන් හැටියට අපි දකිමු.

අනුරාධපුරේ පොසොන් පූජාව විශාල උත්සව සමයක් නිමවූ පසුව මහජනයා ගැවසීමෙන් මහ බෝ, මහ සෑ අවට ප්‍රදේශයම කැළිකසළින් පිරී, ඇතැම්විට දුඟද හමන, අපිරිසිදු තත්ත්වයට පත්වේ.

මේ උත්සව සමයෙන් පසු පූජා බිම නැවත පිරිසිදු කිරීම සඳහා දෙවියෝ පින්බිම මඳ වැස්සෙන් තෙමෙන බව ඇතැම් දෙනා පවසති. මෙවැනි කතා අසත්‍යම ලෙස සැලකීම බුද්ධ ගෝචර ද නොවන්නක් ලෙස අපි සලකමු.

මේ වසර මුල් භාගයේ පැවති දරුණු නියඟය නිසා සියලු ජලාශ වේගයෙන් සිඳී ගියේය. ඒ අවස්ථාවේ දී මහ වැසි ඉල්ලා සියලු ජලාශවලින් ගත් දිය ගෙනැවිත් මහ බෝ අසල පූජා සිදුකෙරිණි. එදිනම අහස් කුස සිසාරා අනුරාධපුරය ඇතුළු මුළු රටම වැසි දියෙන් තෙමී ගියේය. මාස ගාණක් අහස සිරකර ගෙන සිටි වැසි ජලය එදාම මහ පොළොවට ආවේ ඇයි...? මෙය මහ බෝ හාස්කමක් නොවේද? මහ බෝ රකින දේව සභාවේ වැස්ස වලාහක දෙවියන් රටේ දුකට පිහිටවීමක් නොවේද? මහ බෝ අසල සිදුකරන යහපත් උතුම් පින්කම්හි ප්‍රතිඵල ඉතා ඉක්මන් බවට මේ හොඳ සාක්ෂියකි.

අනුරාධපුරයේ ගොවියෝ වැසි නැති කල වැසි ඉල්ලා මහ බෝධියට බාරහාර වෙති. වැසි වැටෙද්දී වගා පාළු නොවන්නැයි බාරහාර වෙති. අස්වනු නෙළු පසු අස්වැන්නේ පළමු භාගය මහ බෝධියට පූජා කර ඊළඟ කන්නයට දේව ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරති.

සමහර ගොවියෝ කන්නයේ කුඹුරට යොදන වී ස්වල්පයක් මහ බෝ අසලට ගෙනැවිත් එයට ආශිර්වාද ගෙනඒම වී කුඹුරට යොදා වී ඉසීම ආරම්භ කරති.
මේ සියලු කටයුතුවලට මහා බෝධියේ ආශිර්වාදයත්, දේව බැල්මත් නොපිරිහෙලා ලැබෙන බව රජරට ගොවීන්ගේ විශ්වාසයයි.

රටේ සිදුවන යම් යම් ව්‍යසන මහ බෝ සමිඳු අභියස කියාපාන බව තවත් සත්‍ය අත්දැකීම් පවතින්නකි.

ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ. බෝම්බයට හසුවීමට දින කීපයකට පෙර මහ බෝධි වන්දනාවට පැමිණි අවස්ථාවේ බෝධියේ අතු ශාඛාවක් කැඩී ගියේය. ඉන් පෙන්නුම් කළේ දිසානායක මහතාට යම් විපතක් සිදුවීමේ ඉඩකඩ පවතින බවය.

එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනි සමයේ මහ බෝ වඳින්නට ආවාය. එදින ද මහ බෝ අතු ශාඛාවක් කැඩී ගියේය. ඉන් දින කීපයක් ඇවෑමෙන් ජනාධිපතිනිය සහභාගි වූ රැස්වීමේ බෝම්බ පුපුරා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර එතුමියගේ ඇසක් ද ආබාධයකට ලක්විණ.

මෙවැනි රටේ විපත්ති, රටේ ප්‍රධානීන්ගේ විපත්ති ඉඳහිට මහ බෝ අසල දී පෙන්නුම් කරයි. මීට තවත් උදාහරණයක් මාමිණියාවේ ඉලංගසිංහ මහතා මට කීවේය.

එනම් සුනාමි විපත අවස්ථාවේ මහ බෝධිය අභියස රටට විපතක ලකුණු පෙන්නුම් කළ ආකාරයයි. රටේ මිනිස් ජීවිත තිස් දාහක් පමණ අමු අමුවේ බිලි වූ සියලු දේපළ අහිමි වූ සුනාමියට පෙර මහා බෝධියට ආරක්ෂාව දෙන බැම්මේ බටහිර පැත්ත ගලවා කැඩී ගියේය.

ඒ දැකපු ගමන් දන්න අය කීවේ රටේ බටහිර පැත්තෙන් මහා විපතක ලකුණු පෙන්නුම් කෙරෙන බවයි.

ඉන් දින කීපයක් ඇවෑමෙන් සුනාමිය දකුණු බටහිර යා කරමින් විශාල අනතුරක් රටට සිදුකළේය.

ඒ අනුව මහ බෝ අසල පෙන්වන මේ ලකුණු පිළිබඳ අවධානයෙන් සිටීම රටේ කලදසාව අවබෝධ කරගැනීමට ලකුණක් වන්නේය.

මේ දිනවල මහ බෝ පත්‍රවල අඳුරු පැහැති වෙනසක් පවතින බව අපි මීට පෙර ලිපියක ලීවෙමු. ඒ අඳුරු බවින් පෙන්නුම් කළේ ගංවතුර හා නාය යාම පිළිබඳ විපතද? නුවණින් විමසන්නට කාලයයි.


source

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...